HOT

5/recent/ticker-posts

promo-container

Nasrudin Books

AI සෙවුම් - බැලුම්: විදු දැනුමෙන් බිලියනපතියන් වූ විද්‍යාඥයෝ

ලෝකය මිනිසාට ලස්සන තැනක් කරන්නට පසුගිය සියවස තිස්සේ විද්‍යාඥයන් දහස් ගණනක් නව සොයා ගැනීම් රැසක් හඳුන්වා දුන්හ. දිළිඳු බවින් පෙළෙමින්, ‍අනේක දුක් දරමින් ඉගෙන ගෙන සිය මොළය වෙහෙසවා නව නිපැයුමක් හෝ නව සංකල්පයක් ලොවට හඳුන්වා දුන් සමහරුන්ට සිය ජීවිත කාලය තුළ ඉන් ඵල ලබන්නට හැකි වූයේ නැත. එහෙත් ඉතාමත් ටික දෙනකුට පමණක් තම ජීවිත කාලය තුළම තම සංකල්පය ලෝකයට තුළ මහා පෙරළියක් කරනු දකින්නටත්, එයින් මහත් ඵල ලබන්නටත් හැකි විය. ඔවුන්ට ලෝකයේ ඉහළම බිලියනපතියන් බවට පත්වීමට හැකි විය. ‍ 

මේ ආකාරයෙන් නවීන විද්‍යාත්මක නිපැයුම් හා සොයාගැනීම් මගින් ලොව විශාලම ව්‍යාපාර ගොඩනඟා‍ ‍ ගෙන බිලියනපතියන් බවට පත් වූ විද්‍යාඥයන් රැසක් ලොව පුරා සිටිති. ඉන් ප්‍රමුඛ පස්දෙනා සොයා දෙන්නැයි අපි කෘත්‍රිම බුද්ධිය (AI) ට පැවරුවෙමු. එහි දී අපට සහය වූ කෘත්‍රිම බුද්ධිය ChatGPT 4 අපට තෝරා දුන්, තමන්ගේ විද්‍යා දැනුම, මෙන්ම නවෝත්පාදන හැකියාව සහ ව්‍යාපාරික දැක්ම එක් කර ගනිමින් වර්තමාන ලෝකය වෙනස් කළ බිලියනපතියන් වූ ප්‍රමුඛ පෙළේ පස් දෙනා මෙසේය: 

• ගණිතයෙන් වෙ‍ළඳ ලොව මවිත කළ ජිම් සයිමන්ස් 

අංක 1ට තෝරා ඇත්තේ ආචාර්ය ජිම් සයිමන්ස් හෙවත් ජේම්ස් හැරිස් සයිමන්ස් (James Harris Simons)ය. ඔහු විශිෂ්ට ගණයේ ගණිත විද්‍යාඥයෙකි; නව නිපැයුම්කරුවෙකි; වානීජ ලෝකයට නව ක්‍රමවේදයන් සකසා දුන් අයෙකි; අග්‍රගණ්‍ය සමාජ මෙහෙවරක් කළ යුග පුරුෂයෙකි. 1938 අප්‍රේල් 25 වැනිදා ඇමෙරිකා එක්සත් ජනපදයේ මැසචුසෙට්ස් ජනපදයේ කේම්බ්‍රිජ්හීදි උපන්නේ, යුදෙව් පවුලක එකම පුත්‍රයා හැටියටය. පසුගිය වසරේ 2024 මැයි 10 වැනිදා නිව්යෝක් නගරයේ දී 86 හැවිරිදි වියේ දී ඔහු මිය යන විට ඔහු සතු වත්කම ඩොලර් බිලියන 20කට වැඩිවිය. 


ජේම්ස් හැරිස් සයිමන්ස්

ඔහු ගණිතමය ආකෘති භාවිතා කරමින් ලෝකයේ වැඩිම ලාභයක් ලැබිය හැකි ආයතන හඳුනා ගත හැකි ක්‍රමයක් හඳුන්වා දුන්නේය. ඒ සඳහා ගණිතමය හා ඇල්ගොරිතමික ආකෘති භාවිතා කරමින් Renaissance Technologies නමින් සමාගමක් ද පිහිටෙව්වේය. ආරක්ෂා සහිතව මුදල් ආයෝජනය කළ හැකි ‘මෙඩලියන්’ නමින් හෙජින් අරමුදලක් හඳුන්වා දුන්නේය. ඔහු ගේ ‍යෙදවුම් වානිජ ලෝකය තුළ විශාල පෙරළියක් කළා පමණක් ඉදිරියටත් ඒ පෙරළිය ගෙන යනු ඇත. මේ ක්‍රම යොදාගෙන ඔහු කළ ආයෝජන මඟින් බිලියන ගණන් උපයා ගෙන ඇති අතර ඒවායින් ගණිත විද්‍යාවේ අනාගත දියුණුවට යොදවා ඇත. 

• පරිගණකය හා බුද්ධිය යා කළ රේ කර්ස්වේල් 

රේ (රේමන්ඩ්) කර්ස්වේල් 1948 පෙබරවාරි 12 වැනිදා ඇමෙරිකාවේ නිව්යෝක් ජනපදයේ ක්වීන්ස් හිදී උපන්නේය. දැනට 77 වන වියේ පසුවන ඔහු වර්තමාන ලෝකය විශාල පෙරළියකට ලක් කළ විද්‍යාඥයෙකි කෘත්‍රිම බුද්ධිය හා ස්වයංක්‍රීය පද්ධති සම්බන්ධ තාක්ෂණ ගණනාවක් නිර්මාණය කළ රේ කර්ස්වේල් වර්තමාන ලෝකයේ සිටින ප්‍රමුඛ පෙළේ ඇමරිකන් පරිගණක විද්‍යාඥයෙකි; ගත් කතුවරයෙකි; ව්‍යවසායකයෙකි; දාර්ශනිකයෙකි; අනාගත වක්තෘවරයෙකි. නව නිපැයුම්කරුවෙකි. පරිගණකයට, ලිඛිතය කියවීම, කෘත්‍රිම කටහඬ, ඉලෙක්ට්‍රොනික සංගීත යතුරුපුවරුව (electronic keyboard) හා කෘත්‍රිම බුද්ධිය එක් කළේ ඔහුය. 


රේ (රේමන්ඩ්) කර්ස්වේල්

පරිගණකය ලෝක පෙරළියකට යොමු කළ ඇමරිකානු විද්‍යාඥ රේ කර්ස්වේල් (Ray Kurzweil) කෘත්‍රිම බුද්ධිය හා ජීව විද්‍යාව මත පදනම්ව ව්‍යාපාරික අවස්ථා ගණනාවක් ඇති කළේය. ඔහුගේ නිපැයුම් Google වැනි සමාගම් විසින් මිලදී ගත් අතර, ඒවායින් ඔහුට විශාල ආදායමක් ලැබිණි. ඔහු ගේ ග්‍රන්ථ අතර, සෞඛ්‍ය තාක්ෂණය (Health technology), කෘත්‍රිම බුද්ධිය (Artificial intelligence), උත්තර මානුෂිකවාදය (Transhumanism) යන ඒවා සුවිශේෂය. 

• අඟහරු ජය ගන්න හදන එලොන් මස්ක් 

ඇමරිකාවේ පමණක් නොව ලෝකයේ ම ඉන්නා අංක එකේ ධනවතාය. ඔහු වර්තමානයේ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ උපදේශක වරයෙකි. වර්තමානයේ ඔහුගේ වත්කම ඩොලර් බිලියන 345 ඉක්මවයි. 2021 සිට ලොව ලොකුම ධනවතා ලෙස කිරුළු පැලඳ සිටින ඔහු ඍජුවම විද්‍යාඥයෙකු නොවේ. එහෙත් විද්‍යාවේ පිහිටෙන් ලෝකයේ ලොකුම බිලියන පතියා බවට පත් වූ අයෙකි. 


එලොන් මස්ක්

දකුණු අප්‍රිකාවේ ප්‍රිටෝරියාවේ ධනවත් පවුල උපන් ඔහු මූලික අධ්‍යාපනය පියා සමග දකුණු අප්‍රිකාවේදීත්, ද්විතීය අධ්‍යාපනය මව සමග ජීවත්වෙමින් කැනඩාවේදීත් ලැබුවේය. විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබුවේ ඇමරිකාවේ විශ්ව විද්‍යාලවලිනි. කුඩා කල සිටම විද්‍යාත්මක ප්‍රබන්ධ කියවීමට හුරු වූ ඔහු නව නිපැයුම් පිළිබඳ විශේෂ උනන්දුවක් දැක්වුවේය. 

එලොන් මස්ක් (Elon Musk) සෘජුවම විද්‍යාඥයෙකු නොවුවද, ඔහු SpaceX, Tesla වැනි නවීන සමාගම් ඔස්සේ විද්‍යාත්මක හා තාක්ෂණික නවෝත්පාදන ජාත්‍යන්තර මට්ටමින් ක්‍රියාවට නැඟුවේය. අනාගතයේ අඟහරු ග්‍රහලොවට යාමට විවිධ සැලසුම් කර ඇති ඔහු එහි ජනාවාස පිහිටුවීමට ද බලාපොරොත්තු වෙයි. 

උඩුගුවනේ ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවතුම්පොළෙහි සිර වී සිටි ඇමරිකන් අභ්‍යවකාශගාමීන් මුදාගෙන සුරක්ෂිතව පෘථිවියට ගෙන එනු ලැබුවේ ඔහු ගේ ස්පේස් එක්ස් ආයතනයේ අභ්‍යවකාශ යානයක් මගිනි. 

• කොවිඩ් 19ට ෆයිසර් නිපදවූ කැටලීන් කැරිකෝ 

කැටලීන් කැරිකෝ (Katalin Karikó) ඇමරිකාවේ වෙ‍ෙසන හෙංගේරියානු ජාතික ජෛව රසායන විද්‍යාඥවරියකි. 1957 ජනවාරි 17 වැනිදා හංගේරියානු රාජ්‍යයේ සොල්නොක්හී උපන් ඇය පානීය ජලය වැනි මූලික පහසුකම් පවා නොමැති නිවසක ඉතා දුෂ්කර ජීවිතයක් ගත කරමින් වුවද දක්ෂතා පෙන්වමින් ඉගෙන ගත් දැරියකි. ඇගේ පියා මස් වෙළෙන්දෙකි; මව පොත් තබන්නියකි. එරට සෙගේට් විශ්ව විද්‍යාලයේ දී ආචාර්ය උපාධිය සම්පූර්ණ කළ ඇයට සිය පර්යේෂණ කටයුතු කරන්නට අරමුදල් නැතිකම නිසා ඒවා සොයා ඇමරිකාව වෙත යොමුවන්නට සිදු විය. 


කැටලීන් කැරිකෝ

එහිදීද විශ්ව විද්‍යාල ප්‍රජාව ඇයට කෙණහිලිකම් කළ ද ඒවා නොසලකා අඛණ්ඩව පර්යේෂණවල යෙදුණු ඇය 2023 දී වෛද්‍ය විද්‍යාව සඳහා වූ නොබෙල් ත්‍යාගය (ප්‍රතිශක්ති විද්‍යාඥයකු වු ඩෲ වයිස්මාන් සමග) දිනා ගත්තාය. ඒ ත්‍යාග මුදල ඇය තමන්ට අත දුන් හන්ගේරියාවේ සෙගේට් විශ්ව විද්‍යාලයට පරිත්‍යාග කළාය. BioNTech හා Pfizer සමාගම් හා එක්ව mRNA පදනම්ව COVID-19 එන්නත් නිපදවීමට මූලිකත්වය ගෙන කටයුතු කළාය. දැනට ඇගේ වත්කම ඩොලර් බිලියන දෙකක් පමණ වුවත් ඇගේ සොයා ගැනීම් නිසා ඇමෙරිකාව තුළ විශාල ව්‍යාපාරික වටිනාකමක් උදා විය. 

• කෘත්‍රිම ජීවියා බිහි කළ ජෝන් ක්‍රේග් වැන්ටර් 

1946 වසරේ ඔක්තෝබර් 14 වැනිදා ඇමරිකාවේ කැලිෆෝනියාවේදී උපත ලද ජීව විද්‍යාඥයෙකි; ඒ ක්ෂේත්‍රයට විප්ලවීය දායකත්වයක් දුන් අයෙකි. ඔහු විශේෂයෙන්ම ප්‍රසිද්ධියට පත්වූයේ මානව ජිනෝමිය (Human Genome) සම්පූර්ණයෙන් ම කේතනය කිරීමට කැපවීම හේතුවෙනි. ජීව විද්‍යාවේ සීමා බිඳ දැමූ විද්‍යාඥයෙකු වූ ඔහු නිසා ජිනෝම අර්ථ දැක්වීම වේගවත් විය; ලොව ප්‍රථම කෘත්‍රිම ජීවියා බිහි කළ හැකි විය; ඒ අනුව කෘත්‍රිම ජීව විද්‍යාව කියා නව විෂයයක් ද බිහිවිය; DNA පදනම් කර ගෙන පුද්ගල සෞඛ්‍ය පරිපාලනය කිරීමේ හැකියාව උදා විය. 


ජෝන් ක්‍රේග් වැන්ටර්

ඔහු විසින් පිහිටුවන ලද J. Craig Venter Institute ආයතනය ජිනෝම විද්‍යාව, ජීව විද්‍යාව හා කෘත්‍රිම ජීව විද්‍යාව සඳහා පර්යේෂණ කරයි. ඔහු විසින් මිනිසාගේ ආයුෂ දීර්ඝ කිරීමට වැඩසටහනක් අරඹා තිබේ. මෙවැනි උදාහරණවලින් සනාථ වන්නේ විද්‍යාත්මක දැනුම හා නිර්මාණශීලීත්වය යොදාගෙන ලෝකයෙහි ව්‍යාපාරික සාර්ථකත්වයට පිවිසිය හැකි බවයි.‍ 

 - පර්සි ජයමාන්න

අදහසක් පළ කරන්න

0 Comments